පසිඳු මිහිරාන් රැටියල
සන්නිවේදනය සහ මාධ්‍ය ක්ෂේත්රයේදී මානුෂීය වාර්තාකරණය ලොව ප්‍රබල ලෙස කතාබහට ලක් වන මාතෘකාවකි. ලොව පුරා නිරන්තයෙන් ඇති වන යුද ගැටුම්, ස්වභාවික ආපදා ඇතුළු සංසිද්ධීන්, අපචාර, දූෂණ, මිනිමරුම් ආදී සංවේදී පුවත් වාර්තා කිරීමේදී මානුෂිකත්වයට හානි නොවන අයුරින් එම පුවත් වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට පූර්ව දැනුවත්භාවයක් තිබිය යුතුය.
එහෙත් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ තුන්වැනි ලෝකයේ රටවල පුවත් වාර්තා කිරීමේදී මානුෂීය වාර්තාකරණයේ මූලික සිද්ධාන්ත හෝ අනුගමනය කරන්නේද?යන ගැටලුව මතුව තිබේ. ලංකාවේ දැනට ක්‍රියාත්මක මුද්‍රිත, විද්‍යුත් සහ නව මාධ්‍යයන්හි මෙම මූලික සිද්ධාන්ත අඩු වැඩි වශයෙන් භාවිත වන අවස්ථා නිරීක්ෂණය වුවද,ඇතැම් මාධ්‍ය එම රීති අමු අමුවේ උල්ලංඝණය කරන ආකාරයක්ද දැක ගත හැකිය.
තිස් වසරක යුද්ධයක් පැවැති රටක, මෑත ඉතිහාසයේ එක් වරක් හෝ සුනාමියෙන් බැට කෑ රටක, ගංවතුර, නායයෑම් ආදී ස්වභාවික විපත් බහුල වශයෙන් වාර්තා වන රටක, දිනකට සියයකට නොඅඩු මිනිමැරුම්, අපචාර, රිය අනතුරු සංඛ්‍යාවක් වාර්තා වන රටක මානුෂීය වාර්තාකරණය පිළිබඳ දැනුම වෙසෙසින්ම මාධ්‍යවේදීන් සතු දැනුම් ගබඩාවේ නියත වශයෙන් ගබඩා වී තිබිය යුතු දැනුමකි.
වර්තමානයේ දෛනිකව අපට අසන්නට දකින්නට ලැබෙන මිනීමැරුම්, වෙඩි තැබීම්, විවිධ අපචාර, රිය අනතුරු වාර්තා කිරීමේදී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය කිහිපයක්ම මෙම මානුෂීය වාර්තාකරණය පිළිබඳව අවම සදාචාරයක් හෝ අනුගමනය නොකරන බවක් පෙනෙන්නට තිබේ. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වුව මිනීමරන්නට අවශ්‍ය වටපිටාව සකස් කරන ආකාරයෙන් වාර්තා කරන මිනීමැරුම් වාර්තා ආදිය ඊට නිදසුන්ය.
ළමා හෝ ස්ත්‍රී අපචාර සිදුවීම් වාර්තා කිරීමේදී හිංසනයට ලක් වූ තැනැත්තා දර්ශනය කිරීම ඔවුන්ගේ ඥාතින්ගේ මුහුණු පවා ප්‍රසිද්ධියේ දක්වමින් අදහස් ලබා ගැනීමට උත්සුක වන මාධ්‍යද අපට බොහෝවිට දක්නට ලැබේ. එහිදී ඇතැම් මාධ්‍ය මානුෂීය වාර්තාකරණය පිළිබඳව සංවේදීතාව නොව අවම මූලික ප්රමිතීන් කෙරෙහි පවා අවධානය නොදක්වයි.
බොහෝ විට තමන් දරන මතවාදය හෝ සිය මාධ්‍ය හිමිකරුවන් දරන මතය අනුව ඔවුන්ගේ මනදොළ සැපිරීම හැර අනතුරක, ස්වභාවික ව්‍යසනයක, යුද්ධයක වින්දිතයන් තලා පෙළා දමන ආකාරයේ මාධ්‍ය වාර්තාද අපට නිරන්තරයෙන් දක්නට ලැබේ. ද්විපාර්ශවික හෝ බහු පාර්ශ්වික යුද්ධයකදී පීඩා විඳින සෑම ආකාරයකම වින්දිතයින් හෙවත් සිවිල් වැසියන් පිළිබඳව වාර්තා කිරීමේදී ස්වකීය මතයට වහල්ව ඔවුන්ව තවත් පීඩාවට පත් කිරීම මානුෂීය වාර්තාකරණයට පටහැනිය. යුදමය ගැටුම් වාර්තාකරණයේදී මධ්‍යස්ථ භාවය සහ අපක්ෂාතී වාර්තාකරණය අනිවාර්ය අංගයක් ලෙස සලකා ඇත්තේ එබැවිනි.
වර්තමානයේ යුද්ධයෙන්, ස්වභාවික ව්‍යසනවලින් හෝ වෙනත් සිද්ධීන් නිසා අතුරුදහන් වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ මානුෂිකත්වය උල්ලංඝණය කරවනසුළු වාර්තාකරණයන් අප නෙත ගැටෙන්නේ මානුෂික වාර්තාකරණය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ අවශ්‍යතාවය කියාපාමිනි. එවන් සංවේදී සිදුවීම් වාර්තා කිරීමේදී ස්වකීය මතවාද පසෙකලා වින්දිතයාගේ හිමිකම් ආරක්ෂා වන අයුරින් එම වාර්තාකරණය සිදු කරන්නට මාධ්‍යවේදීන් ආචාරශීලී විය යුතුය.
අතුරුදහන් වූවන් පිළිබඳව වාර්තා කිරීමේදී ඔවුන්ගේ ඥාතින් සමඟ සිදු කරන සාකච්ඡාමය ගනුදෙනු ඉතා පරෙස්සමින් කිරීමට මාධ්‍යවේදීයා වගබලා ගත යුතුය. ඔවුන්ගෙන් අසන ප්රශ්නවලදී පවා ඔවුන්ගේ මානුෂීය අයිතීන් ආරක්ෂා කිරීම මාධ්‍යවේදීයාගේ වගකීමකි. මාධ්‍යවේදීයාගේ වගකීම අතුරුදන් වූවන් සොයා දීම නොව එය වාර්තා කරමින් ඔවුන්ට සාධාරණය ඉටු කිරීමට අදාළ පාර්ශ්වයන්ට බලපෑම් කිරීමයි.
ස්වභාවික විපත් මෙන්ම දුගීභාවය නිසා අසරණ වූ පුද්ගලයන්ට හෝ යුද්ධයෙන් පීඩාවට පත් වූවන්ට ආදී ලෙස වින්දිතයන්ට සහන සැලසීමේදී වින්දිතයන්ගේ මුහුණු ප්‍රසිද්ධ නොකිරීම සදාචාරාත්මක මාධ්‍යකරණයේ වගකීමකි.
ස්වකීය මාධ්‍ය හිමිකරුවන්ගේ මනදොළ සපුරාලීම හෝ ස්වකීය මතය වෙනුවෙන් අසත්‍ය පුවත් සංසරණය කිරීම මාධ්‍යවේදියෙකු විසින් කිසිසේත්ම නොකළ යුත්තකි. එවැන්නක් සිදුකර කනගාටුව පළ කිරීමට වඩා එවැන්නක් සිදු නොකරන්නට මානුෂීය වාර්තාකරණය පිළිබඳ දැනුමෙන් සන්නද්ධ වීම වැදගත්ය.
කිසියම් සිද්ධියකින් අසාධාරණයට හෝ අගතියට පත්වන වින්දිතයින්ගේ ප්‍රතිරූපයට හානි වන කිසිදු තොරතුරක් හෝ සේයාරුවක් ප්‍රසිද්ධ කිරීම මාධ්‍යකරණයට උචිත නැත. එය ජනමාධ්‍යය සංස්කෘතිය වනසා පැතිරෙන අවර ගණයේ ක්‍රියාවකි. වින්දිතයන්ගේ මුහුණු නොපෙන්වීම හෝ ඔවුන්ගේ මුහුණු බොඳ කර දැක්වීමට මාධ්‍ය කටයුතු කරන්නේ එනිසාය.
දේශපාලනීකරණය වූ සමාජ සංස්ථා පවතින තුන්වැනි ලෝකයේ රටවල ස්වකීය මතයට වහල් වූ මාධ්‍යයන්ට පෙම් බඳින ජනතාවක්ද නැතිවා නොවේ. ඔවුන් ඇතැම්විට මාධ්‍යයේ සැපයුමට සරිලන පරිදි ඉල්ලුම නිර්මාණය කිරීමටද දායක වෙති. එසේම ජනමාධ්‍යකරුවන්ගේ මග යමින් වින්දිතයන් තලන්නට පෙළන්නටද කටයුතු කරති. එවැනි තත්ත්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුව තිබේ.
මාධ්‍යවේදියාගේ වගකීම සත්‍ය වාර්තාකරණය මිස ස්වකීය මතය ජනතාවට කාවැද්දීම නොවේ. ඒ අසංවර මාධ්‍යකරණයට තිත තබන්නට මානුෂීය වාර්තාකරණය පිළිබඳ දැනුම යාවත්කාලීන කර ගත යුතුය.
රැවුල කපන දැලි පිහියෙන් බෙල්ල කපන කරණවෑමියා නියත වශයෙන් සමාජයෙන් ප්‍රතික්ෂේප වෙයි. ඒ ආකාරයෙන්ම තම මනදොළ හෝ තමා නියෝජනය කරන පාර්ශ්වයක් වෙනුවෙන් ජනතාගේ ගෙල සිර කරන මාධ්‍ය ශිෂ්ට සමාජය ප්‍රතික්ෂේප කරයි. මේ මානුෂීය වාර්තාකරණයේ වටිනාකම් පිළිබඳව මාධ්‍ය සමාජයේ මෙන්ම පුරවැසි සමාජයේත් අවධානය යොමුවියයුතු කාලයකි.

