සියදිවි නසාගැනීම් අවම කිරීම ජයගත නොහැකි සමාජ ගැටලුවක්ද?

පුවත් මවමින් සිදුවන සියදිවි නසාගැනීම් රට තුළ රැල්ලක් බවට පත් වී තිබේ. සියදිවි නසා ගැනීම යනු ලොව පුරා මරණ සිදුවීමේ හේතු අතර ප්‍රධාන හේතුවකි. අද වන විට සියදිවි නසා ගැනීම සමස්ත ලෝකයේම අවධානයට ලක්ව ඇති බරපතළ සමාජ ගැටලුවකි. මෙම ගැටලුව සඳහා විසඳුම් සෙවීමට තවමත් මනෝවිද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන් මෙන්ම දාර්ශනිකයින්ද අපොහොසත් වී තිබේ. මෙම ගැටලුවේ වඩාත් ඛේදනීය කරුණ වනුයේ ලොව පුරා දිවිනසා ගැනීම හේතුවෙන් දස ලක්ෂයකට අධික පිරිසක් වාර්ෂිකව මියයෑමය. එහෙත් ඇතැම් රටවල සංඛ්‍යා ලේඛනවලට නිසියාකාරව ප්‍රවේශවීමට නොහැකිවීම හේතුවෙන් මෙම සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයක් වියහැකි බව පැහැදිලිය. ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව වසරකට 700,000ක් සියදිවි නසාගැනීම් හේතුවෙන් මිය යයි. 

 ලොව පුරා දරුණු ඛේදවාචකයක්ව පවතින  සියදිවි නසා ගැනීම ශ්‍රී ලංකාව තුළ ද කැපී පෙනෙන සමාජ ගැටලුවකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව 1995 වර්ෂය පිළිබඳව සුවිශේෂීව සැලකීමේදී ලෝකයේ ඉහළම සියදිවි නසා ගැනීමේ අනුපාතිකයක් වාර්තා කළ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබිණි. නමුත් 2000 වසර පමණ වන විට එම අනුපාතිකය අඩුවීමක් පෙන්වා තිබේ. 2019  වසර වන විට සියදිවි නසා ගැනීමේ අනුපාතිකය අනුව ලෝකයේ 29 වන ස්ථානය හිමිව තිබුෙණ් ශ්‍රී ලංකාවටය. මෙම තත්ත්වය නිසා ශ්‍රී ලංකාව තුළ සියදිවි නසා ගැනීම් සම්බන්ධ විවිධ පැතිකඩ ඔස්සේ, විවිධ අධ්‍යයනයන් සිදු කර තිබේ. මිනිසා මරණයට පත්වන ක‍්‍රම රාශියක් පැවතුන ද ඒවා   ස්වභාවික මරණ, අනතුරු හේතුවෙන් සිදුවන මරණ, ඝාතන සහ සියදිවි නසා ගැනීම් වශයෙන් ප්‍රධාන වර්ග හතරකට බෙදිය හැකිය. මෙහිදී සැලකිය යුතුම කරුණ වනුයේ මෙම ප‍්‍රවණතාවය බුද්ධිමය අතින් ඉහළම සත්ත්වයා වන මිනිසා අතර පමණක් පවතින ඛේදජනක සිදුවීමක් වීමය. 

විසිවන සියවසේ යුරෝපා සමාජය අධ්‍යයනය කළ එමිල් දුර්කයිම් නම් සමාජ විද්‍යාඥයා  සමාජය සදාචාර විරෝධීවීම ප්‍රබල නිශේධනාත්මක ප්‍රතිඵල ගෙන දෙන්නක් බව දුටුවේය. යුරෝපය පුරා ව්‍යාප්ත වූ සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාව අධ්‍යයනය කළ ඔහු එහි අනිටු ප්‍රතිඵල සමාජය ඉදිරියේ ගෙනහැර දැක්වීය. ඔහු පෙන්වා දුන්නේ සමාජ ඒකාබද්ධතාව බිඳවැටීමෙන්, සමාජ විකේන්ද්‍රනය සමාජගත වීමෙන් පුද්ගලයා ලද එක් දුක්ඛිතම ප්‍රතිඵලයක් ලෙස සියදිවි නසා ගැනීම හඳුනාගත හැකි බවයි. වර්ෂ 1897 දී දුර්කයිම් විසින් ‘Le suicide’ නමින් ප්‍රංශ බසින් ලියන ලද ‘Suicide: A Study in Sociology නමින් 1951 දී පරිවර්තනයට බඳුන් වූ කෘතිය සමාජගත කළේය. සියදිවි නසාගැනීම පිළිබඳ ඔහුගේ එම සමාජ විද්‍යාත්මක අධ්‍යයනය සිදු කරන ලද්දේ සංඛ්‍යාන විධි ක්‍රමය භාවිත කරමින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල උසාවි වාර්තා, පොලිස් වාර්තා හා ස්වේච්ඡා සංවිධාන සතු දත්ත රැස්කර ගනිමිනි. දුර්කයිම් සිය අධ්‍යයනය තුළ ‘සාමූහික විඥානය’ පුද්ගල සිතුවිලි පද්ධතිය ගොඩනැගෙන ආකාරය පෙන්වීය 

දුර්කයිම් සිය අධ්‍යයනයේදී සියදිවි නසාගැනීම පිළිබඳ ප්‍රධාන කොටස් තුනක් යටතේ විස්තර කර තිබේ. පළමු කොටසේදී සියදිවිනසා ගැනීමට බලපාන අමතර සමාජ සාධක පිළිබඳ හැඳින්වීමක් කරමින් ඔහු පෙන්වා දෙන්නේ සියදිවිනසා ගැනීම මනෝ විද්‍යාත්මක කාරණා සමඟ බැඳී පවතින බවයි. එහිදී සාමාන්‍ය මනෝ විද්‍යාත්මක කරුණු, එනම් ජාතිය. ජනවාර්ගිකත්වය සහ උරුමය වැනි සාධක පිළිබඳවත් අවශේෂ සාධක පිළිබඳවත් ඔහු සාකච්ඡා කර තිබේ. පර්යේෂණයේ දෙවැනි කොටස මගින් සාකච්ඡා කර ඇත්තේ  සියදිවි නසා ගැනීම කෙරෙහි බලපාන සමාජ හේතු සාධක සහ සමාජ වර්ග පිළිබඳවයි. එහිදී ප්‍රධාන සමාජ වර්ග සේම වෙනස්කම් පිළිබඳව ද ඔහු අවධානය යොමුකර තිබේ.  කෘතියේ තුන්වැනි කොටස මගින් සාකච්ඡා කර ඇත්තේ සියදිවිනසා ගැනීම ‘ සමාජ සංසිද්ධියක් ලෙස සුවිශේෂී වන ආකාරය පිළිබඳවය. ‘සියදිවිනසා ගැනීම යනු වින්දිතයා තමා විසින්ම සෘජුවම හෝ චක්‍රව ධනාත්මක හෝ නිශේධනාත්මක සිදුකරන ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස සිදුවන සියලුම මරණය’බව ඔහු පෙන්වාදෙයි.

සියදිවි නසා ගැනීම සම්බන්ධ මානසික ව්‍යාධි, ජානමය ලක්ෂණ සහ භූගෝලීය සාධක තිබිය හැකි වුවද දුර්කයිම් වැඩි අවධානයක් යොමුකර ඇත්තේ පුද්ගලයෙකුට සියදිවිනසා ගැනීම කෙරෙහි බලපාන සමාජ සාධක පිළිබඳ විශ්ලේෂණය කිරීම කෙරෙහිය. ඒ අනුව සියදිවිනසා ගැනීම පිළිබඳ සමාජ සාධක අධ්‍යයනය කරමින් ආත්මීය සියදිවිනසා ගැනීම, පරාර්ථකාමී සියදිවිනසා ගැනීම, අනෝමීය සියදිවිනසා ගැනීම යන ප්‍රධාන වර්ග තුනක් යටතේ පුද්ගලයෙකු විසින් සිදුකරන සියදිවිනසා ගැනීම වර්ගීකරණයට ලක්කළ හැකි බව දුර්කයිම් පෙන්වා දෙයි.  

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ශ්‍රී රංජන්  හෙට්ටි ආරච්චි මහතා   සියදිවි නසා ගැනීම සම්බන්ධව සමාජ විද්‍යාත්මක පැතිකඩ විශ්ලේෂණය කළේ මෙලෙසිනි.

සියදිවි නසා ගැනීම සමාජය තුළ අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. එය සමාජීය ලෙස සහ නීතිමය වශයෙන් අපරාධයක්. ඒ සදහා විවිධ සාධකයන්ගේ බලපෑම් එල්ල වෙනවා. සංස්කෘතික කාරණා කේන්ද්‍රීයව, ආර්ථික සාධක කේන්ද්‍රීයව, සමාජ සහ භෞතික සබදතා නිසි ආකාරව තේරුම් ගැනීමට නොහැකි වීම, ලෙඩරෝග නිවාරණය කර නොහැකි වීම ආදී හේතුන් මත  පුද්ගලයන් සියදිවි නසාගැනීමට පෙළඹිය හැකියි. සියදිවි නසා ගැනීම ඒක හේතුක ක්‍රියාවලියක් නොවේ. මෙරට පවතින සංස්කෘතික සීමාවන් හේතුවෙන් මෙම සියදිවි නසා ගැනීමට බලපාන හේතු සාධක තේරුම් ගැනීමට නොහැකිව තිබෙනවා. සාමාජ සාධකයන් නිවැරදිව ක්‍රියාත්මක නොවීම එයට හේතුවයි.

විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ මිනිසාගේ අවශ්‍යතාවන්  තේරුම් ගැනීමට අවශ්‍ය විද්‍යාත්මක දැනුම ලබා නොදීමත් මෙයට ප්‍රබලව බලපා තිබෙනවා. විද්‍යාව විෂයක් ලෙස අධ්‍යනය කිරීම සාමාන්‍ය පෙළින් අවසන් කළත් එම විෂය සමස්ථ ජීවන ක්‍රියාවලියටම අවශ්‍යයි. කලාව තුළ වුවත්  රසවින්දයට මෙන්ම ගැඹුරු අර්ථ තේරුම් ගැනීමට විද්‍යාව අවශ්‍යයි.අධ්‍යාපන සංකල්පය තුළ සෑම මානව ක්‍රියාවලියකටම,චර්‍යාවකටම,අවශ්‍යතාවකටම,අන්තර්ක්‍රියාවකටම,අන්තර් සම්බන්ධතාවකටම විද්‍යාත්මක කියවීමක් අවශ්‍යයි. එම විද්‍යාත්මක කියවීම නැති නිසා මිනිසාට මිනිසා තේරුම් ගන්න බැරි වෙලා තියනවා. 

ආදරය, ලිංගිකත්වය වැනි ජීව විද්‍යාත්මක අවශ්‍යතා ඇති වීම අවුරුදු 16 වගේ වෙද්දි සිදුවෙනවා. සංස්කෘතික පරිසරය තුළ ආර්ථික පීඩනය, සංස්කෘතිය පරම්පරා පරත‍රය තුළ ලබන පීඩනය, මතවාද තුළ පීඩනය හරහා එම ජීව විද්‍යාත්මක අවශ්‍යතා විදින්න බැරි වු විට තාරුණ්‍ය වේදනාත්මක පරිසරයක ජීවත් වෙනවා. එම වේදනාත්මක පරිසරය සියදිවි නසා ගැනීම දක්වා ගමන් කරන අවස්ථා තිබෙනවා. 

 මෙම කාරණාවලට සමානවම සමාජ මාධ්‍යයේද ප්‍රබල බලපෑමක් නව යෞවනයන් සියදිවි නසා ගැනීම වෙත එල්ල වී තිබේ. බොහෝ තැන් වලින් බොහෝ දෙනෙක් විද්‍යුත් මාධ්‍යට මුදාහරින පණිවිඩ සමාජ මාධ්‍ය තුළ අන්තර්ගත වෙනවා. යුරෝපා රටවලට සාපේක්ෂව ආසියානු රටවල සමාජ ක්‍රමය නොදියුණු මට්ටමක පවතින බැවින්   භෞතික සම්පත් පමණක් නොව ආකල්ප මට්ටමින්ද නොදියුණු බවක් තිබෙනවා.

වීශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් වෛද්‍යවරයා විසින් සියදිවි නසා ගැනීම සම්බන්ධව මනෝ විද්‍යාත්මක පැතිකඩ විශ්ලේෂණය කළේ මෙලෙසිනි,

සියදිවි නසා ගැනීම මීට දශක දෙකකට පමණ ඉහත එනම් 90 දශකයේ අග භාගයේදී ඉහළ අගයක්ව පැවැතුනා. කාලයත් සමග ක්‍රම ක්‍රමයෙන් එම තත්ත්වය වෙනස් වුණා. නමුත් කෝරෝනා වසංගතය සමග නව යෞවනයේ සියදිවි නසා ගැනීම යම් ප්‍රමාණයකින් වැඩිවීමක් දකින්න ලැබුණා. මෙයට හේතු ගණනාවක් බලපෑ හැකියි. විශේෂයෙන් නව යෞවනයන් තුළ පවතින පෞරුෂත්ව දුර්වලතා සහ සමාජ කුසලතාවල පවතින දුර්වලතාවයන් මීට බලපෑහැකියි. යම් ගැටලුවක් උද්ගත වූ විට ගැටලුව විසදා ගැනීමේ ක්‍රමවේද පිළිබද බොහෝ දරුවන්ට අවබෝධයක් නැහැ. එවැනි ගැටලු හමුවේ ගැටලුව විසදා ගන්නවා වෙනුවට තීරණවල පසු ප්‍රතිඵලය පිළිබදව දැනුවත්බවකින් තොරව අවේගශීලීව තීරණ ගැනීමට පෙළඹිය හැකියි. එම ගැටලුවට තිබෙන එකම විසදුම සියදිවි නසා ගැනීම යැයි ඇතැම් යෞවනයන් සිතනවා.

 මෙවැනි ගැටලු සදහා බලපානු ලබන විවිධ හේතු තිබෙනවා. දරුවා විවිධ මානසික පීඩනවල ගොදුරු බවට පත්වීම එක් හේතුවක්. යම් විටක එය ළමා කාලයේ සිටම පීඩාවිදින්නක් විය හැකියි. පවුල් සංස්ථා බිද වැටීම හේතුවෙන් දෙමාපියන්ගේ ආදරය රැකවරණය නොමැතිව ගොඩනැගෙන දෙමාපිය දූ දරු සම්බන්ධතාවයන් නිරෝගීව සහ නිවැරදිව ඇති වන්නක් නොවේ. දෙමාපියන්ගේ කාර්යබහුලත්වය, නොසැලකිල්ල, අනවබෝධය වැනි වූ කාරණාවන් මේ සදහා බලපානවා. බොහෝවිට දරුවගේ ආවේගශීලී හැසිරීම් වලට දෙමාපියන්ද ආවේගශීලීව ප්‍රතිචාර දැක්වීම් සිදුවෙනවා.මෙවැනි අවස්ථාවලදී දරුවා සහ දෙමාපියන් අතර නිර්මාණය වන්නේ දුරස්තභාවයක්.  

දරුවන් යෞවන වියට පා තැබීමත් සමග දෙමාපියන් මත යැපෙන ස්වභාවයෙන් ඉවත් වී ස්වාධීන පුද්ගලයකු බවට පත්වීමට උත්සාහ දැරීම සාමාන්‍ය තත්ත්වයක්. මෙහිදී අලුත් දේවල් සොයායෑම, නව අද්දැකීම් ලබාගැනීමට උත්සාහ කිරීම, දෙමාපියන්ට අවනත නොවීම, අවධානම් ගැනීමට  ඔවුන්  ප්‍රියකරනවා. මෙවැනි ක්‍රියා දෙමාපියන් දකින්නේ වරදක් ලෙසයි.එවිට දෙමාපියන් පමණ ඉක්මවා දරුවන්ව පාලනය කිරීම, නරක ළමයෙකු ලෙස ලේබල් කිරීම, දඩුවම් කිරීම සිදු කරනවා. එවිට සිදුවන්නේ දරුවන් තව දුරටත් මුරණ්ඩු වීමයි. දරුවන්ගේ අදහස්  තේරුම් ගෙන හොදින් සවන් දී ගැටලු හදුනාගෙන, දරුවන්ට සමීප වී නිවැරදිව මග පෙන්වීමයි සිදුකළ යුත්තේ. නමුත් බහුතර දෙමාපියන්ට ඒ් අවබෝධය නැහැ.   

තවත් ගැටලුවක් ලෙස සමාජයේ පවතින ප්‍රචණ්ඩත්වය තම හැසිරීම් තුළට එක්කර ගැනීම හදුනාගත හැකියි. නිදසුන් ලෙස සමාජ මාධ්‍ය සහ වීඩියෝ ගේම් වැනි දේහි අන්තර්ගත වූ ප්‍රචණ්ඩත්වය නිරත නිතර දැකිම තුළින් එය සාමාන්‍යකරණයට ලක්වෙනවා. එවිට සමාජය විෂම වූ දරුණු වූ තැනක් ලෙස ඔවුන් හදුනාගනු ලබනවා.එහි ප්‍රතිඵලයක් ලෙස අනාගතය පිළිබදව විශාල අපේක්ෂාභංගත්වයක් ඇති කරගන්නවා. එයත් දරුවන්ගේ යහපත් මානසිකත්වය නැති වීමට බලපාන හේතුවක්. ඒ ප්‍රචණ්ඩත්වය තම හැගීම් සිතුවිලි චර්යා  වලට එක්කර ගැනීමට උත්සාහ දරන අතර අවසානයේ දරුවන් දරුණු තත්වයට පත්වීම සිදුවෙනවා. ඒ දරුණුකම සමාජය වෙත මුදා හැරීම හෝ තමා වෙතම මුදා හැරීමයි  මෙහිදී සිදු වන්නේ.  

දරුවන් විවිධ ‘වීඩියෝ ගේම්’ වලට ඇබ්බැහිවීමත් වර්තමානයේ බහුලව දැකගත හැකියි. සමහර ‘වීඩියෝ ගේම්’ හිදි  ජයග්‍රහණය කරා යන්නට තවකෙකු සමග සටන් කර මරා දමා විනාශ කළ යුතුයි. ඒ තුළින් දරුවන් තුළ ආකල්ප ගොඩ නැගෙන්නේ සමාජයේ  ඉස්සරහට යාමටත් ප්‍රචණ්ඩත්වය අවශ්‍ය බවටයි. සමාජය ඉදිරියේ අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකි වූ විට තමා පිළිබදවම අවතක්සේරුවක් ඇති වී  ඇතැමෙකු සියදිවි නසා ගැනීමට පෙළඹෙනවා.

එමෙන්ම නව පරපුර විවිධ මත්ද්‍රව්‍ය මත්පැන් වලට ඇබ්බැහි වීමද සියදිවි නසා ගැනීමට හේතුවිය හැකියි. මත්ද්‍රව්‍ය මගින් පුද්ගලයා තුළ ආවේගශීලී බව වැඩි වෙනවා. එවිට දැනෙන දුක කණගාටුව පාලනය කර ගැනීමට නොහැකි වීම මගින් තමාටම හානි කර ගැනීමට සිතුවිලි ඇති වීමට ඉඩ තිබෙනවා.

මෙරට තරගකාරී අධ්‍යාපනය තුළත් දරුවන් දැඩි ලෙස පීඩාවට පත්වන අවස්ථා තිබෙනවා. නිර්මාණශීලිබව, නව අදහස්, තාර්කිකබව දරුවන්ගෙන් ඈත්වෙමින් පවතිනවා. එවිට සමාජ කුසලතා, හැගීම් පාලනය, දරුවන්ගෙන් ගිලිහී යනවා.සමාජ කුසලතා නැති පුද්ගලයන්ට ගැටලු විසදා ගැනීමට හැකියාවක් නැහැ.  

සියදිවි නසා ගැනීමට යෞවනයන්ට පවතින මානසික රෝගත් බලපෑ හැකියි. විශාදය වැනි මානසික රෝග යෞවනයන්ගෙන් සියයට 15 ක් පමණ ප්‍රමාණයකට තිබෙනවා. මෙහි රෝග ලක්ෂණ ලෙස දුක දැනීම, කලකිරීම, සතුට අඩුබව, ශක්තිය නොමැති බව, අධ්‍යාපනයට සිත යොමු කිරීමට නොහැකි වීම ආදී වූ ජීවිතය පිළිබද වේදනාත්මක හැගීම්  හඳුනාගත හැකියි. විශාදය වැනි මානසික රෝග තත්වයන් මුල් අවස්ථාවේ හදුනා ගැනීමට දෙමාපියන් මෙන්ම ගුරුවරු කටයුතු කිරීමද ඉතා වැදගත්. විශාදය වැනි මානසික රෝග සදහා ඖෂධීය සහ මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර තියනවා. ඒ සදහා අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීම කළ යුතුයි. 

මේ තත්වය වළක්වා ගැනීමට අධ්‍යාපනය තුළම සමාජ කුසලතා, සංජානන කුසලතා, අනුයෝජනීය කුසලතා, සන්නිවේදන කුසලතා ඉගැන්විය යුතුයි. එය පෙර පාසල් අධ්‍යාපනයෙන්ම ආරම්භ කළ යුතු දෙයක්. විනයවත් කුසලතා පිරි දරුවන් බිහි වීමට කට පාඩම් අධ්‍යාපනයෙන් මිදී  නිදහසේ කුසලතා ප්‍රගුණ කළ හැකි අධ්‍යපන රටාවක් ඇතිකළ යුතුයි. සමාජයේ ජීවත් විය යුතු ක්‍රම, චාරිත්‍ර වාරිත්‍ර, නීති රීති, ආදිය අධ්‍යාපනය හරහාම දරුවන්ට ලබාදිය යුතුයි. එමෙන්ම අධ්‍යපනය තුළම පෞරුෂත්ව හැකියා කුසලතා වර්ධනය, හැගීම් පාලනය, ගැටලු කළමණාකරණය පිළිබද කුසලතා ඇති කළ යුතුයි.