රාත්‍රී සමාජ ශාලා, බීච් පාටි,සාද,සැණකෙළි මැදනූතන මත්ද්‍රව්‍ය ව්‍යාපාරික ලෝකයේ කාන්තාව.

මෙරට ඉතිහාසයේ මත්ද්‍රව්‍ය ගැන පැවසෙන්නේ අද ඊයේ සිට නොවේ. බුදුන්ගේ කාලයේ පවා මත්පැන් යහමින් තිබූ බව අපේ බෞද්ධ සාහිත්‍ය කතාවන්හි දැක්වේ. රජ පවුලේ සුරා පානයන් හා සාද ගැන ද අපේ ඉතිහාස කතා සාක්ෂි දරයි. එසේ වුව ද මත්ද්‍රව්‍ය මෙරට නීතිගත වු බවට ඇති පැරණිතම සාක්ෂි හමුවන්නේ යුරෝපීයයන්ගේ පැමිණීමත් සමගය.පෘතුගීසි (1505-1658), ලන්දේසි (1658-1796) සහ බ්‍රිතාන්‍ය පාලන යුග (1776- 1948) තුළ සිදු වූ දේශපාලන හා ආර්ථික වෙනස්වීම් සමග විවිධ මත්ද්‍රව්‍ය වර්ග රට තුළට ගලා ඒමටත්, ඒවා ප්‍රචලිත වීමටත් පටන්ගෙන තිබේ.

 පෘතුගීසීන් විසින් අබිං කෑම ලංකාවට හදුන්වාදුන් බව පැවසේ. 1681 තරම් ඈත කාලයක සිට මෙරට මිනිසුන් මත්ද්‍රව්‍ය භාවිත කළ බව රොබට් නොක්ස් ඔහුගේ ” එදා හෙළදිව” ග්‍රන්ථයේ සඳහන් කර ඇත. කෙසේ වුවද අප රට තුළ ඇති වූ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික විපර්යාසයන් සමග සාම්ප්‍රදායිකව තිබූ මත්ද්‍රව්‍ය  වර්ග අතරට තවත් අලුත් මත්ද්‍රව්‍ය ද පසුකාලීනව එක්වී ඇත. සමාජ වෙනස් වීමත් සමගම ශ්‍රී ලාංකික තරුණයන් පමණක් නොව තරුණියන් ද තාරුණ්‍යයේ විලාසිතාවක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. 

2019 මත්ද්‍රව්‍ය අනිසි භාවිතය පිළිබඳ තොරතුරු අත්පොතට අනුව 2013 වර්ෂයේදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික පුරුෂ කාන්තා අනුපාතය පුරුෂයින් 117 ට එක් කාන්තාවකි. 2017 – 2018 කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට පත් කාන්තාවන් 1,871 කි. පුරුෂයින් සංඛ්‍යාව 77,054 කි (නැවත නැවත අත්අඩංගුවට පත්වීම් සංඛ්‍යාවන්ද ඊට ඇතුළත්ය.). 2018 වර්ෂයේදී විෂ මත්ද්‍රව්‍ය සඳහා කාන්තාවන් 142 දෙනෙකුද, සුරා බදු වැරදි සඳහා 65 දෙනෙකුද වැරදිකරුවන් වී සිරභාරයට පත්ව තිබේ. 2014 – 2018 අතර ප්‍රතිකාර සඳහා ප්‍රවේශ වූ පුරුෂයින්ගේ සංඛ්‍යාව 12,531 ක් වූ අතර කාන්තාවන්ගේ සංඛ්‍යාව 105 ක් පමණි. මෙලෙසින් අඩු ව්‍යාප්තියක්ව පැවති මත්ද්‍රව්‍ය සදහා කාන්තාවන්  අත්අඩංගුවට ගැනීම් වර්තමානය වනවිට නැවත සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. 

තොරතුරු දැනගැනීමේ පනත යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් කළ ඉල්ලීමකට අනුව ලබාගත් තොරතුරු විශ්ලේෂණයේදී මේ වසරේ ගෙවී ගිය මාස 8 කට ආසන්න කාලය තුළ දී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් 524 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතිබව පෙනීයයි. අත්අඩංගුවට පත්ව ඇති බොහෝ කාන්තාවන් අවුරුදු 22ත් 60ත් අතර විවාහක කාන්තාවන් වන අතර ඉතා සුළු පිරිසක් තරුණියෝය. එම තරුණියන්ගේ මවුපියන් බොහෝ දුරට අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ හෝ ජාවාරමේ නිරතවන්නන්ය. ඔවුන්ගේ ජාවාරමට සහායදීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටියදී ඇතැම් තරුණියන් අත්අඩංගුවට ගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඊට අමතරව ගංජා සම්බන්ධයෙන් කාන්තාවන් 378 ක්, හෙරොයින් සම්බන්ධයෙන් කාන්තාවන් 434 ක්, මල්පෙති සම්බන්ධයෙන් කාන්තාවන් 23 ක්, හෑෂ් සම්බන්ධයෙන් කාන්තාවන් 6 ක්, වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කාන්තාවන් 39 ක්, කොකෙන් සම්බන්ධයෙන් කාන්තාවන් 2 ක් ඉකුත් මාස 8 ඇතුළත අත්අඩංගුවට ගෙන ඇත. මේ අනුව මෙම වසරේ මුල් මාස අටක කාලය තුළ වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 882 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 2024 වසරේදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සහ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති කාන්තාවන්ගේ සංඛ්‍යාව 428 කි. එය මෙම වසර සමග සැසඳීමේදී ,මේ වසරේ  අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් දැකිය හැකිය. ඉකුත් වසරේ හොරොයින් සම්බන්ධයෙන් කාන්තාවන් 530 ක්, ගංජා සම්බන්ධයෙන් කාන්තාවන් 621 ක්, හෑෂ් සම්බන්ධයෙන් කාන්තාවන් 2 ක්, මල්පෙති සම්බන්ධයෙන් කාන්තාවන් 34 ක්, කොකේන් සම්බන්ධයෙන් කාන්තාවන් 4 ක්, වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කාන්තාවන් 43ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය මයුර සමරකෝන් මහතා කාන්තාව සහ මත්ද්‍රව්‍ය ජාවරමේ සමාජීය පැතිකඩ විශ්ලේෂණය කරමින් පවසන්නේ,කාන්තාව මත්ද්‍රව්‍ය වෙළදාම් කිරීම හා ප්‍රවාහනය කිරීම නොකරණ බවට  සමාජය තුළ ගොඩනැගී තිබුණු විශ්වාසය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඉතාමත් සූක්ෂම ලෙස ප්‍රයෝජනයට ගෙන ඇති බවයි. 

“අතීතයේ පටන්ම මෙරට සමාජය තුළ කාන්තාව සහ පිරිමියා අතර වැඩ විවිධත්වයක් ගොඩ නැගී තිබුණා. වෘත්තීන් තුළ මෙන්ම නිවසක් තුළ පවා කාන්තාවන්ට කළ හැකි සහ කළ යුතු, පිරිමින්ට කළ හැකි සහ කළ යුතු ලෙස කාර්යයන්  වර්ගීකරණය වුණා. නිදසුනක් ලෙස කාන්තාවක් බස් රථයක් පදවාගෙන යාමත් ප්‍රවෘත්ති මවන්නක් බවට පත් වුණා. එය සැලකුණේ  පිරිමින් සදහා වෙන් වූ වෘත්තියක් ලෙසටයි.එසේම,කාන්තාවන්  මත්ද්‍රව්‍ය වෙළදාම් කරන්නේ නෑ, ප්‍රවාහනය කරන්නේ නෑ, ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි නිරත වන්නේ නෑ ආදී වශයෙන් යම් යම් දේ නොකරාවි යැයි විශ්වාසයක් සමාජය තුළ ගොඩනැගී තිබුණා.එයට මූලික වශයෙන් හේතු වූයේ මෙරට සංස්කෘතික වටපිටාව. 

  මෙම විශ්වාසය මේ වනවිට ඉතාමත් සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ප්‍රයෝජනයට ගෙන තිබෙනවා. ඔවුන් ඉතා පහසුවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සහ වෙළදාම සදහා කාන්තාවන් යොදා ගනිමින් සිටිනවා. ජාවරම්කරුවන්ගේ විශ්වාසය වූයේ  කාන්තාවන් හරහා කරන මෙම ජාවාරමට ආරක්ෂක අංශ මගින් බාධා ඇති නොවන බවයි. අතීතයේදි ආරක්ෂක අංශත් බොහෝ අවස්ථාවලදි මත්ද්‍රව්‍ය සමබන්ධයෙන් කාන්තාවන් වැඩිදුර පරීක්ෂණයට ලක් නොකරන තත්ත්වයක් පැවැතුණා.නමුත් පසු කාලිනව මෙම මත්ද්‍රව්‍ය විකිණීමේ ජාලයට කාන්තාවන් ඉතා සුක්ක්ෂම ලෙස සම්බන්ධ බව ආරක්ෂක අංශවලට වැටහුණා. ඒ අනුව ඔවුන් කාන්තා පුරුෂ බේදයකින් තොරව   දෙපක්ෂයම සෝදිසි කිරීමටත්,අත්ඩංගුවට ගැනීමටත් පටන් ගත්තා.එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ මත්ද්‍රව්‍ය ජාවාරමට  සම්බන්ධ පිරිමි මෙන්ම කාන්තාවන් විශාල ප්‍රමාණයක් අරක්ෂක අංශ විසින් අත්ත්ඩංගුවට ගෙන ති‌බෙනවා. 

මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්අඩංගුවට ගැනීම්, සෝදිසි කිරීම් ස්ත්‍රී පුරුෂ සහ වයස්  භේදයකින් තොරව සිදු කළ යුක්තක්. එමෙන්ම ඉතාමත් පරිස්සම් විය යුතු කරුණක් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා ළමයින් යොදා ගැනීම සම්බන්ධවයි.ජාවරම්කරුවන් තමන්ගේ භාර්‍යාව, දරුවා, සහෝදරයා, දෙමාපියන්  වුවත් මේ ක්‍රියාවලියට යොදා ගැනීමට සූදානම් බව අවධානයෙන් සිටිය යුතු කරුණක්.”

ගාල්ල,කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා කාන්තාව සහ මත්ද්‍රව්‍ය ජාවරමේ මනෝ විද්‍යාත්මක පැතිකඩ විශ්ලේෂණය කළේ මෙලෙසිනි.

මත්ද්‍රව්‍ය ව්‍යාපාරය වෙනුවෙන් විශාල ලෙස මහා පරිමාණ ජාවරම්කරුවන් වශයෙන් පිරිමි පුද්ගලයන් අත්අඩංගුවට පත් වූ අවස්ථා තිබෙනවා. කාන්තාවන් බොහෝ අවස්තාවන්හීදී අත්අඩංගුවට පත් වන්නේ මත්ද්‍රව්‍ය ලග තබා ගැනීම සහ වෙළදාම සමබන්ධවයි. මත්ද්‍රව්‍ය නාශක අංශ සහ පොලිසිය බොහෝවිට මත්ද්‍රව්‍ය කියූ සැනින් පුරුෂ පාර්ශවය වෙත යොමුකරන අවධානය වැඩියි. සමාජය තුළත් පවතින විශ්වාසය සහ මතය වන්නේ මත්ද්‍රව්‍ය වෙළදාම සහ බෙදා හැරීම පිරිමි පාර්ශවය විසින් සිදු කරනු ලබන දෙයක් බවයි. කාන්තාවන් පිළිබදව සමාජය තුළ ගොඩනැගී තිබෙන විශ්වාසය වන්නේ කාන්තාවන් මෙවැනි ක්‍රියා සදහා යොමු නොවන බවයි.

 කාන්තාව යනු ආදරණීය, සමාජශීලී කෙනෙකු බවයි සමාජ මතය. එමෙන්ම පවුලේ උදවිය වුවද තම දියණිය මෙවැනි සමාජ විරෝධි ක්‍රියා වෙත යොමු වේ යැයි විශ්වාස නොකරන නිසා දියණිය කෙරෙහි දක්වන්නේ අඩු අවධානයක්.  එමනිසා මත්ද්‍රව්‍ය ක්‍රියාවලිය ආරක්ෂිතව සහ සැකයෙන් තොරව පවත්වාගෙන යාම සදහා කාන්තාව යොදා ගැනීම මත්ජාවාරම්කරුවන්ගේ උපක්‍රමයක්. කාන්තාවක් පරීක්ෂා කිරීමට පොලිස් කාන්තාවක් සිටීම අනිවාර්ය වීම නිසා බොහෝ අවස්තාවන්හීදී පොලීසියෙන් වුවද කාන්තාව පරීක්ෂා කරනු ලබන්නේ අවම වශයෙන්.  

කාන්තාව මෙන්ම නව යෞවනියන් සහ ළමයින්ද මත්ද්‍රව්‍ය වෙළදාම් සදහා යොදා ගැනීම අද සුලභ සිදු වීමක් වී තිබෙනවා.කාන්තාවන් මත්ද්‍රව්‍ය ජාවරම් සදහා යොමු වීමට බලපානු ලබන තවත් කරුණක් වන්නේ සමාජය තුළ පවතින විරැකියාවයි. කාන්තාවන් විශාල ප්‍රමාණයක් වර්තමානය වනවිට රැකියා විරහිතව සිටිනවා. ඔවුන්ගේ මුදල් අවශ්‍යතා සපුරා ගැනීමේ මාර්ගයක් ලෙස ඇතැමෙක් මත්ද්‍රව්‍ය තෝරාගෙන තිබෙනවා.  විශේෂයෙන් නව යෞවනියන්ට වර්තමාන පාරිභෝගිකවාදී සාමාජ රටාව තුළ අලුත් අලුත් මාදිලිවල දුරකථන,විවිධ විලාසිතා විශේෂයෙන්ම රූපලාවන්‍ය, ආදී වූ අවශ්‍යතා නිර්මාණය වී තිබෙනවා.ඒ් සදහා මුදල් අවශ්‍යයි.මත්ද්‍රව්‍ය ජාවරම් කියන්නේ කෙටි කාලයක් තුළ වැඩිම මුදලක් උපයාගත හැකි ව්‍යාපාරයක්.  

ඊට අතිරේකව,වර්තමාන සමාජයේ පවතින නවීකරණය හේතුවෙන් කාන්තාව සාමාජය වෙත පිවිසීම සීඝ්‍ර වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. සාද, රාත්‍රී සමාජ ශාලා, බීච් පාටි ආදී වූ මත්ද්‍රව්‍ය ගැවසෙන ස්ථාන වෙත කාන්තාවන්ගේ යොමුවීම වැඩියි. මත්ද්‍රව්‍ය භාවිතා කරනු ලබන කාන්තාවන්ගේ ප්‍රතිශතයද වර්තමානය වනවිට ඉහළ ගොස් තිබෙනවා. මත්ද්‍රව්‍ය භාවිතා කරනු ලබන කාන්තාවන්ම මත්ද්‍රව්‍ය ජාවරම් සදහා යොමුවීම් වැඩියි.   එමනිසා මෙම නවීකරණය වූ සාද මත්ද්‍රව්‍ය ජාවරම සදහා මනා තෝතැන්නක් නිර්මාණය කර තිබෙනවා.