ආර්.බී. ජනක සුරංග
මිනිස් ක්‍රියාකාරකම් මත හෝ ස්වභාවික හේතූන් මත යම් අනතුරක්, අනපේක්ෂිත විපත් හෝ බහුතර මානව ප්‍රජාවකට මුහුණ දීමට සිදුවන යුධ ගැටුම් ආදී ව්‍යසනකාරී තත්ත්වයන් පොදුවේ ආපදා ලෙස හැඳින්වේ. එවැනි ආපදා තත්ත්වයකදී , වේගවත්ව හා නිවැරදිව ක්‍රියාත්මක වෙමින් පීඩාවට පත්වන වින්දිත පාර්ශවයන්ට අවශ්‍ය උපකාර කිරීම,සහන සේවා සැලසීම , සුබසාධනය , හානි පූර්ණය හා ප්‍රතිස්ථාපනය යන කරුණු සපිරීමට ක්‍රියා කිරීම අත්‍යාවශ්‍යය. ඒ සඳහා ඍජුව වගකීම් දරන රාජ්‍ය හා පෞද්ගලික අධිකාරීන්ගේද , සහන සේවා හා සුබසාධන කණ්ඩායම්වලද , අදාළ වෙනත් ආයතන වලද සහය හිමිවිය යුතුය. නිසි බලධාරීන් ඇතුළු සියලු ආකාරයේ යහ බලපෑම් සිදුකළ හැකි පාර්ශවවල කාර්යභාරය කාර්යක්ෂමව ඉටු කිරීමත් , ඒ තුළින් වින්දිතයන්ට පූර්ව හා පශ්චාත් අවධීන් යන කාලසීමාවන් තුළදී , ඉතා උසස් තත්ත්වයේ ගුණාත්මක මානුෂීය මෙහෙවරයන් හැකි උපරිමයෙන් ඉටු කිරීමට දායක වීමත් යන සමස්ත ක්‍රියාදාමය ‘ආපදා කළමනාකරණය’ පූරණය කරයි.
මෙකී ක්‍රියාදාමයන් තුළ , ආපදා තත්ත්වයක හැසිරීම , ඒ සඳහා පූර්ව සූදානම , ආපදා තත්වයක් තුළ මෙහෙයුම් ක්‍රියාදාමය , සහන සේවා හා සුභසාධන කටයුතුවල ගුණාත්මකභාවය පවත්වාගැනීම , වින්දිතයන් බවට පත්වන තැනැත්තන්ගේ මනෝසමාජීභාවය, ජීවන තත්ත්වය යළි යථාවත් කිරීම , හානි පූර්ණය හා ප්‍රතිස්ථාපනය මෙන්ම මානුෂීය ආපදා වාර්තාකරණයත් ඊට අනුශාංගික වශයෙන් මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම යනාදී කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවේ.
හදිසි තත්ත්වයන් තුළ සක්‍රීයවීම
හදිසි ආපදා මොහොතකදී ඉතාමත් වැදගත් මූලික පියවරක් වන්නේ තවදුරටත් අනාරක්ෂිත ලෙස පවතින ජීවිත රැකගැනීම වෙනුවෙන් ඔවුන් සුරක්ෂිත ස්ථාන වෙත යොමු කරවීමයි. ඒ සඳහා කඩිනම්ව පියවර ගැනීම අත්‍යවශ්‍ය වන අතර අනතුරුවලට ලක්වූවන්ට ප්‍රථමාධාර දීමට මුල් තැනක් ලබාදී , වැඩිදුරටත් ප්‍රතිකාර අවශ්‍ය සියලු දෙනා රෝහල් ගත කිරීමට පහසුකම් සැලසිය යුතුය. මෙහිදී තවදුරටත් අනතුරු සිදුවීම් වළක්වා ගැනීම සඳහා අදළ අවදානම් සහිත ප්‍රදේශ සුරක්ෂිත කිරීමට හැකි සෑම උත්සාහයක්ම දැරීම ද වැදගත් වේ. ශ්‍රී ලංකාව තුළ ද නාය යෑම් , ගංවතුර , මාරක රිය අනතුරු මෙන්ම හදිසි ගිනි ගැනීම් වැනි ආපදා වාර්තා වන විටදී බරපතල තුවාල , අසාධ්‍ය රෝගීන්ට මූලික ප්‍රථමාධාර ලබාදීමේ සිට මරණකරුවන් රෝහල් වෙත යොමු කිරීම දක්වා හදිසි සේවා භාවිත කිරීමේ හැකියාව පවතී. එම ප්‍රධාන මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා පොලිස් හදිසි සේවා 118/119 – සුව සැරිය ගිලන් රථ සේවය 1990 – හදිසි ගිනි නිවීම් හා ගිලන් රථ සේවා 110 – ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය – 1959 , ශ්‍රී ලංකා සෞඛ්‍යය හා ප්‍රවර්ධන කාර්යාංශය – 1999 , ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා එම සහන සේවා කටයුතු සඳහා – 1996 / 117 යන හදිසි ඇමතුම් සබඳතා වැදගත් වේ. ජාතික , පළාත් , දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටමින් මෙම සේවා ජාල හා සහන කණ්ඩායම් ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර රසකුරුස කමිටුව හා එහි අනුබද්ධ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වැනි ප්‍රබල සමාජ සුභසාධන හා උපකාරක ආයතන වලින් ද ඉහත තත්ත්වයන් තුළ පීඩාවට පත් ජනතාවට ලැබුණුයේ අති විශාල සහනයකි.
ආපදා වාර්තාකරණය
ආපදා වාර්තාකරණය ඉතාමත් ප්‍රවේශමෙන් සිදුකළ යුතු වැදගත් කාර්යභාරයක් වන්නේ , යම් ආපදාවක් නිසා මානසික හා කායික මෙන්ම සමාජීය වශයෙන්ද පීඩාවට පත්වන තැනැත්තන්ට එකී වාර්තාකරණයන් නිසා සෘජු හෝ වක්‍ර ආකාරයෙන් තවත් අනියම් ආකාරයක පසු වින්දිතයන් වීමට ඉඩ නොතැබීමට වගබලා ගත යුතු බැවිනි. විශේෂයෙන් යම් වාර්තාකරණයකදී අදාළ වාර්තාකරුගේ වගකීම වියයුත්තේ සත්‍ය හා නිවැරදි තොරතුරු ජනගත කිරීමය. එහෙත්, ජනමාධ්‍යවේදියා එය කළ යුත්තේ, පොදු මානව ධර්මතා මෙන්ම මාධ්‍ය ආචාර ධර්ම කෙරෙහිද සැලකිලිමත් වෙමිනි. වාර්තාකරණයන් තුළින් බහුතරයකට යහපතක් වීම අපේක්‍ෂා කරන්නක් වුවද , එම වාර්තාකරණයේදී කුඩා දරුවෙකුගේ සිට වැඩිහිටියෙකු දක්වා ඔවුන් සතු පෞද්ගලිකත්වය හා ගෞරවය ආරක්ෂා කිරීම යහපත් මාධ්‍යකරණයක ගැබ්වී තිබිය යුතු ප්‍රමුඛ අවශ්‍යතාවයකි.කිසියම් අවස්ථාවක යම් ප්‍රසිද්ධ කිරීමක් නිසා තවත් කෙනෙකුගේ පුද්ගලික ජීවිතය හා සබැඳි අතිශය සංවේදී කරුණුවලට මෙන්ම , ඔහුගේ අනාගත ජීවන පැවැත්මට අනියමින් හෝ අනර්ථකාරී බලපෑමක් සිදුවීමට ඉඩ තිබේ.
ආපදා වාර්තාකරණයේ යෙදෙන ජනමාධ්‍යවේදීන් මෙම සෑම කරුණක් කෙරෙහිම අවධානය යොමු කිරීම වැදගත්ය. ආපදා වාර්තාකරණයකින් සිදුවිය යුත්තේ සියලු පීඩාවට හා වින්දිතභාවයට පත්වූවන්ට යටකී ආකාරයේ කායික , මානසික , සමාජීය හා ආර්ථික , නෛතික සාධකවල යහ බලපෑමක් ඇතිවන අයුරින් ප්‍රතිලාභ අත්පත් කරදීමයි. මෙහිදී ලේඛනගත කිරීම , සිදුවීම් ස්ථානය වෙනස් නොකරීම පිණිස නිශ්චිතව භූමි ප්‍රදේශ හඳුනාගැනීම , එම තොරතුරු නිසි පරිදි සටහන් කිරීම, ඡායාරූප , වීඩියෝ පට ලබා ගැනීම ආදීය තීරණාත්මක කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවේ. මන්දයත් මෙම දත්ත හා තොරතුරු බොහෝ විට අනාගතයේදී පවා තීරණාත්මක ලෙස බලපාන අතිශය වැදගත් කරුණු ලෙස ඉස්මතු විය හැකි බැවිනි. යම් නිශ්චිත සිදුවීමකදී , එය සිදුවූයේ කුමන වේලාවකදී ද ? එම දිනය , නිශ්චිත ස්ථානය , අවට භූමියේ දළ සටහන් , පාරිසරික හා දේශගුණික බලපෑම ,
කාටද සිදු වුණේ ? බලපෑමට ලක් වූ කණ්ඩායම් මොනවාද යන්න ප්‍රධානම වශයෙන් හඳුනාගත යුතුය. එහිදී පුද්ගල නාම , ස්ත්‍රී , පුරුෂ හා වෙනත් ලිංගික භාවයන් , වයස් සීමා ආදිය පිළිබඳ නිසි ලෙස වාර්තා කිරීමකින් සහන කණ්ඩායම් මගින් පිරිනැමෙන ක්ෂණික ප්‍රතිලාභ ලඟා කරදීමටත් , එම සහන සේවා සැපයීම හා ඉදිරි ආපදා කළමනාකාරණ කටයුතු සඳහා අනාගත සැලසුම් සකස් කිරීමටත් ප්‍රයෝජනවත් වනු ඇත. විශේෂයෙන් සෞඛ්‍ය සේවා , ආහාරපාන , ඖෂධ වැනි කඩිනමින් සැපයිය යුතු සේවාවන් වෙනුවෙන් මෙකී නිවැරදි දත්ත ගබඩා කර ගැනීම සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට උපකාරී වේ. යම් තොරතුරක් වාර්තා කිරීම අත්‍යවශ්‍යම බව හැඟේ නම් ඒ බව නිවැරදිව තහවුරු කළ හැකි මූලාශ්‍ර , වගකීම් දරන නිල වාචික සන්නිවේදන කරුවන් හා විධිමත් සාක්ෂිකරුවන් හෝ ලිපි , ලේඛණ ආදී තොරතුරු සහිතව අනාවරණය කිරීම වැදගත්ය.
ජාත්‍යන්තර මානුෂීය නීතිය හා වින්දිත තැනැත්තන් සඳහා ප්‍රවේශය.
රාජ්‍යයන් රාජ්‍යයන් අතර ගෝලීය මට්ටමේ යුධ ගැටුම් වලදී මෙන්ම , දේශීය වශයෙන් අභ්‍යන්තර ගැටුම්වලදී ද,අතුරුදහන්වීම්වලට ලක්වූ සිය සමීපතමයින්ගේ මෘත දේහය පවා නිශ්චිතව හඳුනාගැනීමට නොහැකිව ළතැවුලෙන් කාලය ගෙවන ලක්ෂ සංඛ්‍යාත ජනයා ලෝකය පුරාම වාසය කරති. තම ආදරණිය දරුවෙකුගේ , සැමියෙකුගේ , සහෝදරයෙකුගේ හෝ ඥාතියකුගේ කිසිදු තොරතුරක් නොමැතිව දීර්ඝ කාලීනව ඔවුන්ගේ මතකයන් සමග ජීවත්වීමට යම්කිසි විටෙක සිදු වුවහොත් එය කුමන ආකාරයේ ඛේදාන්තයක් විය හැකිදයි දන්නේ එම ශෝචනීය අත්දැකීමට මුහුණ දෙන ඔවුන්ගේ සමීපතයින්ම පමණි. සමූහ කැනීම් භූමියන් තුළ හා යුද ගැටුම් ඇති වූ ස්ථානවල හෝ රෝහල් ආශ්‍රිතව හෝ වෙනත් මෘත ශරීර හෝ අස්ථි කොටස් ආදී මෘත දේහයන් හඳුනා ගැනීමට හැකි ඕනෑම ස්ථානයක දී , ඊට අදාළව ආධාර උපකාර සපයන විධිමත් නීතිරාමුවකින් සමන්විත ක්‍රියාවලියක් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව ස්ථාපිත කර තිබීම වින්දිතයන්ට මනා පිටිවහලකි. එම නිශ්චිත දැනුම් පද්ධතිය සමඟ යාවත්කාලීන වී ජාත්‍යන්තර මානුෂීයවාදී නීති රාමුවට අනුව ‘ආපදාව යළි යළිත් අපරාධයක් නොවන්නට වාර්තාකරණයක නියැළීම’ මාධ්‍යකරුවාගේ ප්‍රමුඛ කාර්යභාරය හා යුතුකමද වන්නේය.
ආපදා හා අගතීන් වාර්තා නොකිරීමේ අන්තරාදායක බව
ආපදා වාර්තාකරණය යනු දොස් පැවැරීමේ ක්‍රියාවලියක් හෝ රජයක් හෝ යම්කිසි වගකිවයුතු හෝ වගවිය යුතු පාර්ශවයක් අපහසුතාවයට පත් කිරීමට භාවිත කරන්නක් නොවේ. එය හුදු ආගමික හෝ දේශපාලනික ලැදියාවන් මත ක්‍රියාත්මක වන්නක්ද නොවේ. සැබවින්ම එය සෑම අයකුගේම ගෞරවය , මානව අයිතිවාසිකම් , ආරක්ෂාව සහ සුබසාධනය වැඩි දියුණු කිරීම පිණිස ක්‍රියාත්මක වන මධ්‍යස්ථ හා හිංසනයෙන් තොර වූ මානූෂීය මෙහෙවර පිණිස පවතින්නකි. පීඩාවට හා වින්දිතභාවයට පත් තැනැත්තන්ගේ හඬ යටපත් කොට තැබීම හා ඔවුන් වෙනස් කොට සැලකීම මානව අයිතිවාසිකම් උල්ලංඝනයක් වන අතර ඔවුන්ගේ විලාපයේ දෝංකාරය ලෝකය ඉදිරියේ නිරාවරණය කළ යුතුව තිබේ.
rbjsofficial@gmail.com
✍️ 2025.09.06.

