බද්දේගම, ඕෂධ කමලනාථ
බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන් වැඩිම පිරිසක් සිටින රටවල් අතර ශ්‍රී ලංකාව තව දුරටත් මුල්තැනක සිටින බව විදෙස් මානව හිමිකම් සංවිධාන සඳහන් කරයි. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය 2003 දී සඳහන් කළේ සිවිල් යුද්ධයේ දී අතුරුදන්වීම් පිළිබඳ පැමිණිලි 20,000 ක් ලැබී ඇති අතර ඉන් 9,000 ක් විමර්ශනය කර ඇති බවත් තවත් 11,000 ක විමර්ශන කටයුතු සිදු කරමින් තිබෙන බවත් ය. ආරක්ෂක අංශවලට භාරවීමෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයන් 12,000 ක් අතුරුදන් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කළ අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
2016 වසරේ අගෝස්තු මස පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පනත අනුව ස්ථාපිත අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය විසින් පසුගිය දශක කිහිපය තුළ පුද්ගලයන් 65,000කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන් වූ බවට ගණනය කර ඇත.
2009 ට පෙර පවා, ජනතා විමුක්ති පෙරමුණ 1971 හා 88,89 දකුණේ කැරැලි පැවති කාල වකවානු අතරතුර 60,000 කට අධික පිරිසක් අතුරුදන් ව ඇති බව සඳහන් විය.
දශක තුනක් පුරා පැවති යුද්ධයේදී මියගිය අය සහ බලහත්කාරයෙන් රැගෙන ගොස් අතුරුදන් කරන ලද තවත් සැලකිය යුතු පිරිසක් ද සිටිති. ඒ් සැමටද යුක්තිය ඉටුවිය යුතුය.
සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී සාමාන්‍ය ජනතාවට යටත් වන ලෙස ඉල්ලා සිටි අතර, බොහෝ පවුල් යටත් වූ පසු ඔවුන්ගේ ඥාතීන්ට සිදුවූයේ කුමක්දැයි නොදනී. අතුරුදන් කිරීම් හා සම්බන්ධ ගැටලු පිළිබඳ ව ඔවුන් ට යුක්තිය අවශ්‍ය මෙන්ම, සත්‍යය දැනගැනීමට ද ඔවුන්ට දැඩි අවශ්‍යතාවයක් පවතී. එමෙන්ම, යුද්ධය අතරතුර මෙන්ම, සහ වෙනත් කාලවලදී යටත් වූවන්ට සහ අතුරුදන් වූවන්ට සිදු වූයේ කුමක්දැයි දැනගැනීමට ඔවුන්ගේ පවුල්වල සමීපතම ඥාතීන්ටද දැඩි අවශ්‍යතාවයක් පවතී. ඔවුන්ගේ අහිමි වූ ආදරණීයයන් සඳහා අවසන් අවමංගල චාරිත්‍ර හෝ භූමදානය කිරීමට නොහැකි වී ඇත. එකී වියෝවන් තුළ, ගොඩනැගෙන ශෝකාකාරී සිතුවිලි තුළ, සත්‍යය සොයා යෑමේ අවශ්‍යතාව පීඩාවට පත් පිරිසට දැඩිව දැනෙයි.
අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්, කම්පනය, බිය, කෝපය, අසරණභාවය සහ වරදකාරී හැඟීම් ඇතුළු විවිධාකාර පැතිකඩ ඔස්සේ බොහෝ අවස්ථාවල දී පීඩාවට පත් වෙති.
ඥාතියෙකුගේ අතුරුදන්වීම තුළ, තමන් ගැඹුරු මානසික බලපෑම්වලට මුහුණ දෙන බව, වින්දිතයන් නිරතුරුව සඳහන් කරන කරුණකි. දශක ගණනාවකට පසු වුවද වින්දිතයින්ට එය අමතක කිරීමට නොහැකි බවත්, බොහෝ අය තම ඥාතියා නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් බලා සිටින බවත් සඳහන් කරති.
බොහෝ වින්දිතයින් සමාජ හුදකලාව සහ නෙරපා හැරීමේ වේදනාකාරී අත්දැකීම් ගැන සඳහන් කරති. ඥාතීන් සහ ප්‍රජා සාමාජිකයින් ඔවුන්ට “ඉදිරි කටයුතු කරගෙන යන” ලෙසට පැවසීමෙන් පසු හෝ තම දරුවන් අපකීර්තියෙන් ආරක්ෂා කර ගැනීමේ මාර්ගයක් ලෙස සමහරු ස්වයං හුදකලා වීමකට ලක්ව ඇත. තවත් අය, බලධාරීන්ගේ බිය ගැන්වීම් සහ පළිගැනීම් වලින් ආරක්ෂා වීම සඳහා අසල්වැසියන් ඇතුළු මිතුරන් සහ ඥාතීන් තමන්ගෙන් ඈත්ව සිටින බව ද, ඇතැම් වින්දිතයෝ සඳහන් කරති. “වැන්දඹුවක්” වීම අවාසනාවන්ත හෝ නරක සිදුවීමක් ලෙස සමහර ප්‍රජාවන් තුළ පිළිගන්නා බැවින් පවුලේ උත්සව වලින් ඔවුන්ව බැහැර කළ යුතු බව ඇතැම් සමාජ ස්ථරවල මතය වී තිබේ.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම නිසා සිදුවන සංකීර්ණ ආර්ථික, සමාජීය සහ නෛතික ප්‍රතිවිපාක වින්දිතයාගේ සෞඛය, අධ්‍යාපනය සහ ප්‍රමාණවත් ජීවන රටාවට ඇති අයිතිවාසිකම් වලට බලපෑමක් ඇති කිරීමට බොහෝ විට හේතු වනු ඇත. අතුරුදන් වූ පුද්ගලයන්ගෙන් බහුතරයක් පිරිමි අය බැවින්, බොහෝ විට එම පවුලේ, කාන්තාවට ප්‍රධාන ආදායම් උපයන්නා බවට පත් වීමට සිදුව තිබේ. කාන්තාවන්ගේ සහභාගීත්වයට බොහෝ බාධා ඇති කරන ශ්‍රම පරිසරයක් තුළ ලිංගික හිරිහැර හා සූරාකෑමේ අවදානම් වැනි බාධාකාරී වන සිදුවීම් වලටද ඇතැම් අවස්ථාවල වින්දිතයන්ට මුහුණ දීමට සිදුවීම අනුවේදනීය තත්ත්වයකි. වින්දිත පවුල්වල දරුවන් ඇතැම් අවස්ථාවල කොන් කිරීමට සහ සමාජය තුළ නොසළකා හැරීමට ලක්වීමේ සම්භාවිතාවක් ඇති බවද කියැවේ. අතුරුදන් වූ තම ඥාතියා වෙනුවෙන් බොහෝ වංචනිකයන් ඉදිරියේ රැවටීමට ලක්වීමට ද ඇතැමි අවස්ථාවල වින්දිතයන්ට සිදු වේ.
ඥාතීන් සෙවීම, වගවීම වෙනුවෙන් පෙනී සිටීම සහ පෙළපාලි සැමරුම් උත්සව සඳහා සහභාගී වීම නිසා වින්දිතයන්ට හිරිහැර කිරීම්, බිය ගැන්වීම්, ඔත්තු බැලීම් සහ ප්රචණ්ඩ ක්‍රියාවලට ලක් වූ සිදුවීම් ද ඇතැම් අවස්ථාවල වාර්තා වී තිබේ. සමහර අවස්ථා වලදී, වින්දිතයන් ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් වධහිංසා වලට ලක් වූ බවද වාර්තා වේ. අතුරුදන්ව සිටින, තම ආදරණීයන්ගේ ඉරණම සහ ඔවුන් සිටින ස්ථානය පිළිබඳ සත්‍ය සොයා ගැනීම සහ බලධාරීන්ගේ සාධනීය මැදිහත්වීමක් වින්දිතයන් නිරතුරුව අපේක්ෂා කරති.
අතුරුදන්වීම් සමූහ වශයෙන් සිදු වුණේ කෙසේ ද ? සහ ඒවා සිදුකිරීමට පහසුකම් සැලසූ සාධක මොනවා ද යන්න ගත්රුම් ගැනීම අවශ්‍ය කාරණයකි. සමස්ත ජාතියේ සහ වින්දිත ප්රජාවන්ගේ මතක සුවපත් කිරීමට සත්‍යය තොරතුරු බොහෝ විට උපකාර වනු ඇත.
මෑත කාලීනව චෙම්මිනි සමූහ මිනීවළ ඇතුළු ඊට පෙර හමුවූ සමූහ මිනිවළවල් වලින් සොයා ගත් මිනිස් අස්ථි කොටස් හඳුනාගැනීම ට අදාළ කාර්යයන් කිරීම සහ යුද්ධය අවසාන කාලයේ රජයේ අත්අඩංගුවට පත්වූ මෙන්ම, බාර වූ පාර්ශ්වයන්ගේ සහ කඳවුරුවල රඳවා සිටි පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ධියට පත් කිරීම වැනි කාරණා, වින්දිත පාර්ශ්වයන්ගේ සොම්නසට හේතුවක් වනු ඇත.
පසුගිය යහපාලන ආණ්ඩුව පැවති කාලයේ 2016 අගෝස්තු මාසයේදී අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කළ අතර 30/1 යෝජනාව යටතේ “සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්” ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව දක්වන කැපවීමේ කොටසක් ලෙස, අතුරුදහන් වූවන් දහස් ගණනක් සොයා ගැනීම, එම කාර්යාලය පිහිටවීමේ ප්‍රධාන අරමුණු අතර විය. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවා කොමසාරිස්වරු පත් කරන ලද නමුත් එම ආයතනය ස්ථාපිත කිරීමේ අභිලාෂයන් සාධනීය ආකාරයෙන් ඉටුවී තිබෙන්නේදැයි අතුරුදන්වූවන්ගේ සමීපතමයන් ප්‍රශ්න කරමින් සිටිති.
අතුරුදන්වූවන් පිළිබඳව සාධනීය මැදිහත්වීමක් අපේක්ෂාවෙන්, 2020 වර්ෂයේදී අතුරුදහන් වූවන්ගේ පවුල්වලය අය, තම ආදරණීයයන් සිටින ස්ථාන පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා දින 1414 ක විරෝධතාවක් ආරම්භ කළහ. විරෝධතා ආරම්භ වූ දා සිට අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් 78 දෙනෙකු තම ආදරණීයයන්ගේ ඉරණම නොදැන මිය ගොස් ඇත.
අතුරුදහන් වූවන්ගේ පවුල් තුළ බලහත්කාරයෙන් මිනිසුන් රැගෙන යෑම දැකීමෙන් ඇති වූ කම්පන සහගත මතකයන් තවමත් පිරී පවතී. එකී මතකයන් වලින් එම පවුල් නිරතුරුව මානසිකව පීඩාවට පත්වෙමින් සිටිති.
පිරිමියෙකු අතුරුදහන් වුවහොත්, ඔහුගේ බිරිඳ පවුලේ ආහාර සැපයුම්කරු බවට පත්වේ. නමුත් ඇය සිද්ධියෙන් කම්පනයට පත් වුවහොත්, එම පවුලේ අනාගතය සහ ඔවුන්ගේ ආර්ථික පසුබිම අවිනිශ්චිත තත්ත්වයට පත් කරනු ඇත. සමහර පුද්ගලයින් බන්ධනාගාරවල සහ නිල හෝ නිල නොවන රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටිති. ඇතමුන් විවිධ ආකාරයේ වධහිංසාවලට ලක් වී ඔවුන්ගේ මතකය සදාකාලීකව ම නැති වී ඇත. එලෙස විවිධාකාරයේ පීඩාවන්ට මුහුණ දුන් අයගෙන් සමහරෙකුට, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් බලහත්කාරයෙන් රැගෙන ගිය බව මතක නැත. දකුණේ සහ උතුරේ අතුරුදහන්වූවන්ගේ පවුල්වලට මානසික උපදේශන සහාය ලබා දීම සඳහා සාධනීය මැදිහත්වීමක අවශ්‍යතාවය දැඩිව මතුවී තිබේ.
ඒ සඳහා පෞද්ගලික උපදේශනය, කණ්ඩායම් උපදේශනය සහ පවුල් උපදේශනය වින්දිත සමාජය තුළ දැඩි අවශ්‍යතාවයක්ව තිබේ. බොහෝ දෙනෙකු තම පවුලේ සාමාජිකයන් මිය ගොස් ඇති බව විශ්වාස කිරීමට කැමති නැති අතර ඔවුන් නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් මග බලා සිටින්නෝ ද වෙති. නමුත් අකමැත්තෙන් වුවද, ඔවුන් මිය ගොස් ඇති බව හෝ ඔවුන් නැවත නොඑන බව පිළිගැනීමට ඔවුන්ට සිදුවේ. දකුණේ අතුරුදහන් වූ පවුල් යම්තාක් දුරකට මේ වන විට පිළිගෙන තිබෙන්නේ අතුරුදන් වූවන් නැවත නොඑන බවයි, නමුත් උතුරේ පවුල්වල තත්ත්වය එසේ නොවේ. අතුරුදන් වූවන් නැවත පැමිණෙනු ඇතැයි උතුරේ ජනතාව තවදුරටත් අපේක්ෂා සහගතව මග බලා සිටිති.
විශේෂයෙන්, ඉහළ තනතුරු දරන අපරාධකරුවන්ව, සාපරාධී වගකීමකට යටත් කිරීම සම්බන්ද ව වින්දිතයන්ට තිබෙන්නේ දැඩි අපේක්ෂාවකි. අතුරුදන් කිරීම්වලට අදාළව චෝදනා ලත්, ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුද්ගලයින් ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම, බලයේ සිටින අය ඉවත් කිරීමට සහ අනාගතයේ නීති උල්ලංඝනයන් වැළැක්වීම යන දෙකට ම උපකාරී වනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.
අතුරුදහන් වූවන්ගේ පවුල්වල සමීපතමයන්, හැකි තරම් නීත්‍යානුකූලව කටයුතු කිරීමට උත්සාහ කර තිබේ. ඒ වෙනුවෙන් රටේ අධිකරණ පද්ධතියෙන් ඔවුන් සහනයක් අපේක්ෂා කර ඇති අවස්ථා රැසක් ඇත. අතුරුදන් කිරීමේ සිදුවීම්වලට ඇතැම් පාර්ශ්වයන් අධිකරණයෙන් වරදකරුවන් කර දඬුවම් නියම කළ අවස්ථාද රැසක් පිළිබඳ පුවත්, ගතවූ කාලය තුළ මාධ්‍ය මගින් වාර්තාවී ඇත.
කෙසේ නමුත්, ශ්‍රී ලංකාව තුළ, අතුරුදන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමට, බලධාරීන්ගේ මැදිහත්වීම අපේක්ෂා සහගත මට්ටමේ නොවන බවට ඇතැම් වින්දිතයන් අතර මතයක් ගොඩ නැගී තිබේ.
උතුරේ සහ දකුණේ අතුරුදහන්වූවන්ගේ පවුල් රාශියක් යම් හෝ අස්වැසිල්ලක් ලබාදීම සඳහා සෑම වසරකම, උතුරේ සිට දකුණට කණ්ඩායම් හුවමාරු වැඩසටහන් ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීමෙන් සිදු කෙරේ.
අතුරුදන්වූවන්ගේ පවුල්වල සමීපතමයන්ට, වේදනාව යම් තාක් දුරට හෝ අවම කිරීමත්, ඔවුන්ගේ ගැටලු පිළිබඳව අන්‍යයන් සමග අදහස් හුවමාරු කර ගැනීමට සහ එකිනෙකා වඩා හොඳින් තේරුම් ගැනීමට උපකාර කිරීම එම වැඩසටහන්වල අරමුණ වන බව ද එම වැඩසටහන් සංවිධායකයෝ සඳහන් කරති.
අතුරුදන්වීම් හේතුවෙන් වින්දිත තත්ත්වයට පත්වූවන් සඳහා යුක්තියක් ඉටු කිරීම සඳහා සාධනීය මැදිහත්වීමක දැඩි අවශ්‍යතාවයක් තිබේ.
ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය (IHL) උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා විශේෂ උපදේශකයෙක් සහිත අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීමට, 2015 දී ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබිණ.
අධිකරණය ඉදිරියේ ඇතැම් අවස්ථාවල අතුරුදන්වූවන්ගේ වින්දිත පාර්ශ්වයන් විසින් පවරන නඩුවලින්, හේබියස් කෝප්රස් ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. මෙම නඩු සැලකිය යුතු ලෙස කල් ගතවන අතර, ඇතැම් අවස්ථාවල, බලහත්කාරයෙන් අතුරුදහන් වූ ස්ථානය ට ආසන්නතම අධිකරණය දක්වා, නඩු මාරු කිරීම ඇතුළු හේතු නිසා ද වින්දිතයාට යුක්තිය ඉටුවීම දිනෙන් දිනම පමාවෙමින් තිබේ.

