තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව යනු කුමක් ද?

+

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පනතේ සක්‍රීය බලාත්මකවීම සහතික කිරීම සඳහා පනත මඟින් පිහිටුවා ඇත. කොමිෂන් සභාව සංස්ථාවක් වන අතර නෛතික පුද්ගලත්වයක් ඇත. එබැවින් එය විසින් ද එයට විරුද්ධව ද නඩු පැවරිය හැකිය.

කොමිෂන් සභාව ස්වාධීන ද?

+

ඔව්. එය ස්වාධීන කොමිෂන් සභාවකි. එහි සාමාජිකයින් තිදෙනෙක් කතෘවරු, ප්‍රකාශකවරු හා මාධ්‍යවේදී කණ්ඩායම්වලින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් හා සිවිල් සමාජ සංවිධානවලින් කරන නාමයෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යැවීමෙන් පසු නම් කරනු ලැබේ. ඉතිරි සාමාජිකයින් දෙදෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මඟින් මහජන අයදුම්පත්‍ර ක්‍රියාවලියකින් තෝරා ගනු ලැබේ.

කොමිෂන් සභාව එහි විනිවිදභාවය තහවුරු කරන්නේ කෙසේ ද?

+

කොමිෂන් සභාව විනිවිදභාවය තහවුරු කිරීම පිණිස අවම වශයෙන් අවුරුද්දකට වරක් එහි සියලුම ක්‍රියාකාරකම් පිළිබඳව වාර්තාවක් සකස් කර ප්‍රකාශයට පත් කරනු ලැබේ. වාර්තාවේ එක් පිටපතක් විවාද කරනු පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර තවත් පිටපතක් ජනාධිපතිවරයා වෙත යවනු ලැබේ. වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සති දෙකකට (02) පසුව කොමිෂන් සභාව මහජනතාවට ප්‍රවේශය ලබා ගැනීම සඳහා එහි පිටපතක් සිය කාර්යාලයේ තබා ගත යුතුය. කොමිෂන් සභාව හැකි සෑම අවස්ථාවක දීම වාර්තාවේ පිටපතක් සිය වෙබ් අඩවියේ පළ කළ යුතුය.

කොමිෂන් සභාවේ කාර්යයන් හා කර්තව්‍යයන් මොනවා ද?

+

කොමිෂන් සභාව;

(අ) පොදු අධිකාරීන්ගේ කාර්යසාධනය අධීක්ෂණය කිරීම සහ ඔවුන් සිය කාර්යය නිසි පරිදි ඉටු කරන බවට සහතික කරයි; (ආ) ප්‍රතිසංස්කරණය සඳහා නිර්දේශ කරයි;

(ඇ) පනත යටතේ පොදු අධිකාරිය විසින් අය කරනු ලබන ගාස්තු නිශ්චය කිරීම සඳහා සාධාරණත්වය පදනම් කොට ගත් මාර්ගෝපදේශ නිකුත් කරයි;

(ඈ) තොරතුරු නිලධාරියෙක්ට ගාස්තුවක් අය කිරීමෙන් තොරව තොරතුරු ලබා දිය හැකි අවස්ථාවන් නියම කරයි;

(ඉ) ගාස්තු උපලේඛණය නියම කරයි;

(ඊ) පනත ඵලදායීව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සඳහා පුහුණු කටයුතු භාර ගනී;

(උ) පනත යටතේ අවශ්‍යතා සහ පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ප්‍රසිද්ධියට පත් කරයිත සහ

(ඌ) වාර්තා නිසි පරිදි පවත්වා ගැනීම සඳහා පොදු අධිකාරීන් වෙත මාර්ගෝපදේශ නිකුත් කරයි.

කොමිෂන් සභාව සතු බලතල මොනවා ද?

+

කොමිෂන් සභාවට පහත දැක්වෙන බලතල තිබේ:

 

(අ)  පරීක්ෂණ පැවැත්වීම සහ කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටින ලෙසට යම් තැනැත්තෙක් වෙත නියම කිරීම;

(ආ)  කොමිෂන් සභාව ඉදිරිියට කැඳවන ලද තැනැත්තන්ගෙන් ප්‍රශ්න කිරීම සහ ඔවුන් සතුව ඇති තොරතුරු සපයන ලෙසට ඔවුන්ගෙන් ඉල්ලා සිටීම. ඉල්ලා සිටින තොරතුරු පනත යටතේ හෙළිදරව් කිරීමෙන් මුක්ත කර ඇත්තේ නම්, එවිට කොමිෂන් සභාව විසින් එම තොරතුරු රහසිගතව පරීක්ෂා කළ යුතුය;

(ඇ) පොදු අධිකාරියක් සතු තොරතුරු පරීක්ෂා කිරීම;

(ඈ) යම් නිශ්චිත ආකෘතියකින් තොරතුරු සපයන ලෙසට පොදු අධිකාරිය වෙත විධානය කිරීම;

(ඉ) පොදු අධිකාරියක් රඳවා ගෙන සිටින තොරතුරු ප්‍රසිද්ධ කරන ලෙසට විධානය කිරීම;

(උ) අභියාචනා විභාග කිරීම සහ තීරණ ගැනීම සහ

(ඌ) තොරතුරු නියම වේලාවට ලබා නොදුන්නේ නම් පුරවැසියෙක්ගෙන් අය කළ ගාස්තු ප්‍රතිපූරණය කරන ලෙසට (ආපසු ගෙවන ලෙසට) විධානය කිරීම.

එමෙන්ම කොමිෂන් සභාවට මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ දී වරදකරුවන්ට එහෙිව නඩු පැවරීමට ද වැදගත් බලයක් ඇත.

 

කොමිෂන් සභාවට අරමුදල් සැපයෙන්නේ කෙසේ ද?

+

කොමිෂන් සභාවට තමන්ගේම අරමුදලක් තිබේ. පාර්ලිමේන්තුව මඟින් කොමිෂන් සභාවට වෙන් කරන මුදල් සහ කොමිෂන් සභාවට ලැබෙන පරිත්‍යාග, ත්‍යාග හෝ ප්‍රදානවලින් අරමුදල සමන්විත වේ. කොමිෂන් සභාවට ත්‍යාග, පරිත්‍යාග හෝ ප්‍රදාන ලැබෙන විට එම අරමුදල්වල මූලාශ්‍රය සහ එම අරමුදල් කොමිෂන් සභාවට ලබාදීමේ අරමුණ ප්‍රසිද්ධ කිරීමට කොමිෂන් සභාව බැඳී සිටී. කොමිෂන් සභාවේ සියලුම වියදම් මෙම අරමුදලින් ගෙවනු ලැබිය යුතුය.

කොමිෂන් සභාවේ මුදල් විගණනයට භාජනය වන්නේ ද?

+

ඔව්. කොමිෂන් සභාවේ ආදායම හා වියදම මූල්‍ය විගණනයට යටත් වේ. කොමිෂන් සභාවේ මූල්‍ය වර්ෂය ඕනෑම වසරක දී ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා වේ. කොමිෂන් සභාවේ සියලුම ආදායම හා වියදම නිරූපණය කරන නිසි ගිණුම් පවත්වා ගෙන යන බවට කොමිෂන් සභාව සහතික කරගත යුතුය.

රාජ්‍ය සංස්ථාවල ගිණුම් විගණනය සඳහා අදාළ වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154වන ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව කොමිෂන් සභාවේ ගිණුම් විගණනය කරනු ලැබේ.කොමිෂන් සභාවේ මූල්‍ය පාලනය සහ ගිණුම් අවශ්‍ය වෙනස්කම් සහිතව 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිිධානවලට යටත් වේ.